Skip to main content

Posts

Showing posts from October, 2008

වැස්ස සහ මගේ සෞඛ්‍යය

"ඇඟ ටිකක් දාලා වගේ නේද?" උස සිහින් අහිංසක සිරුරක් තිබුනු මට දැන් දැන් අහන්න ලැබෙන්නෙ ඔවැනි කතා. ඇත්තටම ඇඟ නම් ටිකක් වැඩි තමයි. ඒකට හේතුව ගන්න අහාර වල ප්‍රමාණය කෙසෙ වෙතත් ඇඟ පත නොවෙහෙසවා සිටීම නිසාද කොහෙද. රැකියාවෙන් ඉහලට යන්න යන්න මුහුණ පාන්න වුන ප්‍රධාන ප්‍රශ්ණය ඒකයි. ඉතින් බෙහොම අමාරුවෙන් හිත හදාගෙන ව්‍යායම වල ටිකක් විතර නිරත වෙන්න තීරණය කරලා පසුගිය දිනවල පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ දුවන්න පටන් ගත්තා. කිව්වා වගේ හිත හදා ගත්තේ බොහෝම අමාරුවෙන්. හරිම කම්මැලියි. පස්සට දාලා පස්සට දාලා කොහොම හරි දුවන්න පටන් ගත්තා. දෙයියනේ කියලා සතියක් විතර හොඳට එක්ස්සයිස් කලා. ඒත් හිත හරියාගෙන එනකොටම මේ දිනවල වහින මේ වැස්ස පටන් ගත්තා. පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් තනිකර මඩ වගුරක් වෙලා. ඒ මදිවට හැමදාම වහිනවා. දුවනවා තියා හිතාගන්නවත් බැහැ. දැන් හරියට සති එකාමාරක් විතර. ඔන්න ඔය වගේ මගේ ඇඟ අඩු කිරීමේ මහා ක්‍රියාවලිය අඩපණවෙලා ගියා. ආයි වැස්ස පායපු දවසකට ආයෙත් හිත හදාගන්න එක තමයි ප්‍රශ්නය.

Dr House සහ මම

ඊයෙ මහ අමුතු දවසකි. පටන් ගත්තේ බෝම්බයත් සමඟ සිදුවූ විනාශයේ තොරතුරුත් එක්කම. දහවල් කාලය මුළුල්ලේම එළිමහනේ සිටීමට සිදු වූ නිසා සිරුර වාරු නැති ගානය.(මේ දවස්වල කාලගුණය ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ). වෙනදා වගේම දිනය අවසානය රූපවාහිණිය ඉදිරියේ (නිදිමරගාතේ) වාණිජකරනයට ලක් වූ තොරතුරු උරාගනිමින්. ඒ අතර කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සහ දරන දොස්තරවරු කිහිපදෙනෙක්. උපක්‍රමශීලී, නිර්මාණශීලි ටෙලි නාට්‍යයේ නිසාම සියළු දේ සාර්ථකව නිම වන සිදුවීම් පෙළක්.(හැමතිස්සෙම එහෙමනේ) හොලිවුඩ්වල කවුදෝ අධ්‍යක්ෂකවරයෙකුගේ උවමනාවට රඟන නළුනිළි කැළක්. සතිපතා විකාශණය වන නාට්‍යමාළාවක තවත් එක් කොටසක්. ඒත් මේ සියළු දේ දැන සිටි මා අඩසිහියෙන්. දවසේ සිදු වූ සියළු සිදුවීම් සති ගණනක් පරණ සිදුවීම් වැනිය. මා සිටින්නේද Dr House සිටින ඒ රෝහලේම ඇතුලේය. දැරිය බේරා ගැනීමට මාගෙ සිතත් අරගලයක යෙදී සිටින ආකාරයකි. මා එතරම්ම ඊට ඇලී ගැලී සිටියේය. මේ ඊයෙ රාත්‍රියේ විකාශය වූ House MD බලා සිටි මට වෙච්ච දේයි.

නරක පුරුදු

අද උදේ ආපු බස් එකනම් අන්තිමයි. ඒකෙ ඩ්‍රයිවරයා අඩියෙන් අඩියට බ්‍රේක් ගහනවා. ඒකත් පුළුවන් තරම් වේගයෙන් ගිහිල්ලා එක පාරටම බ්‍රේක් ගහන්නෙ. අඩි දහයක ඉඩක් දැක්කත් ඇති. බස් එක ඇතුලේ මිනිස්සු බාගෙට මැරිලා වගේ. සමහර විට මිනිහට ඒක පුරුද්දට ගිහිල්ලා ඇති. ඩ්‍රයිවින්ග් ඉගෙන ගන්න කාලේ පටන් ගත්ත විදිහ වෙන්න ඇති. මටත් මේ වගෙ මගහැරගන්න බැරි පුරුදු තියෙනවා. එකක් තමයි ඇඟිලි දෙකෙන් ටයිප් කරන එක. පරිගණකය ගැන ඉගෙන ගන්න කාලෙ කොච්චර ඉගැන්නුවත් මම ටයිප් කලේම ඇඟිලි දෙකෙන්. දැන් ඒක අත් හැරගන්න බැරුව දඟලනවා.